නිතර අසන ප්‍රශ්න

 

දියවැඩියාව යනු කුමක්ද?

අපගේ ශරීරයේ ඉන්සියුලීන් අඩුවිට හෝ ඉන්සියුලීන් නිපදවන්නේ නැතිවිට ඇතිවන රෝගයට දියවැඩියාව යැයි කියයි. දියවැඩියාව ඉතා බරපතල රෝගයකි. හඳුනා නොගතහොත් මෙමගින් බරපතල විපාක ගෙන දිය හැකි අතර, මරණය පවා සිදු විය හැක. වාසනාවකට මෙන් දියවැඩියාව පාලනය කල හැකි රෝගයකි. අවාසනාවකට දියවැඩියාවෙන් පෙලෙන බොහෝමයක් ඒ බව නොදන්නා අතරම සමහරුන් ඒ සදහා ප්‍රතිකාර ගැනීම අසාධ්‍ය තත්වයට පත්වන තුරුම කල් දමයි. ඔබට දියවැඩියාව ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙකුගේ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ.
[ඉහළට ]

දියවැඩියාව තිබෙන බව දැනගන්නේ කොහොමද?

සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම
අඛණ්ඩව ඇතිවන පිපාසය හා බඩගින්න
බර අඩුවීම
විඩාව
පෙනීමේ දුර්වලතා (බොඳවී පෙනීම)
නැවත නැවත ඇතිවන සමේ රෝග
රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම හා මුත්‍රාවල සීනි තිබීම
දැඩි වෙහෙසකාරී ගතිය හා අලසකම
තුවාල සුවවීමට දිගු කලක් ගතවීම
පාදයේ ඇතිවන හිරිවැටීම හා කෙණ්ඩා පෙරලීම වැනි තත්ව
නාරිවේදය හා සම්බන්ධ දිලීර රෝග ඇතිවීම
පුරුෂයන්ගේ බෙලහීනතා ඇතිවීම.
 
[ඉහළට ]

දියවැඩියාව ආරයට යනවාද?

දියවැඩියාව-2 රෝගී තත්වය පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන රෝගයකි. දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් මෙම රෝගයෙන් පෙලෙන්නේනම් තමාටද මෙය සෑදීමට ඇති අවදානම වැඩිය. ඔබ තරබාරුනම් හෝ ක්‍රියාශීලී නොවන ජීවිකාවක් ගෙන යන්නෙකුනම් මෙම අවදානම තවත් වැඩිය.
දියවැඩියාව රෝගී තත්වය ආරයට යන ස්වභාවයක් පෙන්නුම් කරන හෙයින්  පවුලේ කෙනෙකු මෙම රෝගයට ගොදුරුවී ඇත්නම් පවුලේ අනෙක් අයත් ප්‍රවේශම් විය යුතුයි.  මේ අය දියවැඩියාව නැතත් දියවැඩියා රෝගියෙකුට දෙන අවවාද පිළිගෙන නිසි පිළිවෙත් අනුගමනය කළහොත් දියවැඩියාවෙන් වැළකීමට හැකිවේ.


[ඉහළට ]

දියවැඩියාවට ගොදුරුවන්නේ කුමන වයසේ අයද? කුඩා දරුවන්ටත් දියවැඩියාව හැදෙයිද ?

ලෝකයේ වයස සීමාවකින් තොරව, ළදරුවන්ගේ සිට මහලු අය දක්වා මිලියන 100ට වඩා අධික ජනතාවක් දියවැඩියාවෙන් පෙලේ. තවත් මිනිසුන් මිලියනයකට පමණ දියවැඩියාව ඇතිමුත් එය හඳුනාගෙන නොමැත. කුඩා අවදියේදී හෝ තරුණ අවදියේ පසුවන මහත දරුවන් ඇත්නම් මෙන්ම පවුලේ ඕනෑම කෙනෙකුට දියවැඩියාව ඇත්නම් එම දරුවන් පරීක්ෂාවට භාජනය කිරීම ඉතා වැදගත්ය.  එයට හේතුව එවැනි දරුවන්ට දියවැඩියාව සෑදීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. දියවැඩියාවේ මුල් අවධියේදීම එය හඳුනාගෙන එයට ප්‍රතිකාර ගැනීමෙන් ඇතිවිය හැකි භයානක සංකූලතා (complications) අවම කර ගත හැක.


[ඉහළට ]

දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?

දියවැඩියාව පාලනය කළ හැකි රෝගයකි.  නමුත් දියවැඩියාව නිට්ටාවට සුව කිරිමේ ක්‍රමයක් හෝ මෙතෙක් සොයාගෙන නැත. 


[ඉහළට ]

දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ් ගැනීම ගැබට හානිකරද?

දියවැඩියාව ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර ඇය තම රුධිර සීනි ප්‍රමාණය ගැන සෑහෙන කාල පරාසයක් තිස්සේ අවධානය යොමු කර තිබීම වැදගත්ය. නැතහොත් කළලයක් ඇතිවී පළමු සති 5-8 දක්වා කාලය තුල කළලයට විකෘතිතා ඇතිවිය හැක.
සාමාන්‍ය කාන්තාවකට තමන් ගර්භනී බව දැනගත හැකි වන්නේ කළලය පිළිසිඳ ගෙන සති 8 ක් වැනි කාලයක් ගතවු පසුවයි. මේ නිසා දියවැඩියාව ඇති කාන්තාවන් පිළිසිඳ ගැනීමට මාස කීපයකටම පෙර සිට රුධිර සීනි මට්ටම හොඳින් පාලනය කරගත යුතුය. මෙය වැදගත් වන්නේ පිළිසිඳ ගන්නා අවස්ථාවේදි දියවැඩියාව පාලනය වී නැත්නම් කළලය විනාශ වීම හේ විකෘති වීම සිදුවිය හැකි නිසාය.


[ඉහළට ]

දියවැඩියාව මවට ඇත්නම් ළදරුවාට හැදෙනවාද?

ළදරුවාට උපතේ දීම දියවැඩියාව තිබීමට ඇති ඉඩකඩ අඩුය.  නමුත් මවට ඇත්තේ දෙවන වර්ගයේ දියවැඩියාව නම් ළදරුවාට දියවැඩියාව උරුම වීමට ඇති අවස්ථාව 50% පමණ වනු ඇත.  එනමුත් උරුමකම් ඇති සියලු දෙනාටම දියවැඩියාව ඇතිනොවේ.     

මවට ඇත්තේ පළමුවන වර්ගයේ දියවැඩියාව නම් එය ආරයට යාමේ අවස්ථාව විරලය.  පළමුවන වර්ගයේ දියවැඩියාව සෑදීමට නම් මවුපිය දෙදෙනාගේම "ජානයන්" අවශ්‍ය වන්නේය.  මවුපියන්ගෙන් එක් අයෙකු 1වන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් ඔවුන්ගේ දරුවන්ගෙන් 5% දෙනෙකුට හෝ 6% දෙනෙකුට පමණ නියත වශයෙන්ම දියවැඩියොව සෑදීමේ අවස්ථාව ඇත.  මවුපිය දෙදෙනාටම දියවැඩියාව ඇත්නම් ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත කාලයේ යම් අවස්ථාවකදී දියවැඩියාව ඇතිවීමේ අවදානම 25% - 30% පමණ දක්වා වේ.
[ඉහළට ]

ආපසු යන්න